Friday, January 29, 2016

Grade 9

                        
                                ලාක්‌ෂා නිර්මාණයේ ශිල්ප 



 
උඩරට පාරම්පරික ලාක්‌ෂා කර්මාන්තය මැයෙන් මෙම ලිපියෙහි මුල්කොටස පසුගිය සතියේ පළවිය

ලාක්‌ෂා ශිල්පිහු ඉතා වෙහෙසකර කටයුතු රාශියක්‌ අවසනැ තම නිර්මාණ එළිදැක්‌වීම සිදුකරති. උසස්‌ තත්ත්වයේ භාණ්‌ඩ නිෂ්පාදනය උදෙසා මෙකී සම්ප්‍රදායික ශිල්ප ක්‍රමවේදය කෙරෙහි ඔවුන් දක්‌වන්නේ මහත් ගෞරව සම්ප්‍රයුක්‌ත භක්‌තියකි. විවිධ දුෂ්කරතා මැද මෙම ශිල්පක්‍රම අද්‍යතනය දක්‌වා රැගෙන ඒම භාග්‍යයකි. එකී ශිල්පක්‍රම එකිනෙකට බද්ධ වූ සංකීර්ණ ක්‍රියාදාමයකි.

බොර ලාකඩ හෙවත් ලාකිරි නිෂ්පාදනය

ලාක්‌ෂා නිෂ්පාදන සඳහා යොදාගන්නා මුලික අමුද්‍රව්‍ය වන්නේ ලාක්‌ෂා හෙවත් ලාකඩය.අතීතයේදී ලාක්‌ෂා අමු ද්‍රව්‍ය කෙමිටෙරා (chemitera) ගෝත්‍රයට අයත් කොක්‌සිඩ් (coccid) කුලයේ කෘමියෙකු ශාක මත ශ්‍රාවය කරන දුම්මල වැනි ද්‍රව්‍යයක්‌ ආශ්‍රයෙන් සකසා ගැනුණි. (මල්කාන්ති,2004(82) කෝන්, මසන්, කැප්පෙටියා, පිහිඹිය, මොර, කොබ්බෑ යන ශාක ඇසුරෙහි ලාක්‌ෂා කෘමීහු ශීඝ්‍ර ලෙස බෝවෙති. කෘමීන් දෙවර්ගයක්‌ ඇසුරින් ලංකාවේ ලාක්‌ෂා ලැබේ. කැප්පෙටියා හෙවත් කෝන් නම් ලාකඩ වර්ගය කැප්පෙටියා, කෝන්, හිඟුරු යනාදී ගස්‌ ආශ්‍රිතවත් තලකිරියා නම් අනෙක්‌ ලාකඩ විශේෂය තලකිරියා ශාකය ඇසුරිනුත් නිෂ්පාදනය වේ. (කුමාරස්‌වාමි, 1962(213)

ලාක්‌ෂා වැවීම වූ කලී සුදුසු ගසකට ලාක්ෂා කෘමීන් බෝකර එහි ලාකඩ නිෂ්පාදනය වන්නට සැලැස්‌වීමයි.ලාක්‌ෂා කෘමියන් නව ශාකයකට බෝ වන්නට හැර ලාක්‌ෂා රැස්‌කිරීම කළයුතුය. තත් ප්‍රදේශයේ සැප්තැම්බර්, ඔක්‌තෝබර් යන මාසවලදී ලාක්‌ෂා මනාව පැසී පවතින (සෝමරත්න සහ අබේවර්ධන, 1956(4) නමුත් ඇතැම් ප්‍රදේශවල ලාක්‌ෂා වෙනත් මාසවලදී පැසේ. ලාක්‌ෂා රැස්‌ කිරීමේදී නිසිලෙස වර්ධනය වූ ලාක්‌ෂා සහිත අතුරිකිලි පමණක්‌ තෝරා ගතයුතු වන්නේ නොපැසුණු ලාකඩයෙන් නිපදවෙන ලාකඩ තද ස්‌වභාවයක්‌ ගන්නා බැවිනි. ආලේපනයටද අයෝග්‍ය වන හෙයිනි. ලාක්‌ෂා සහිත අතුරිකිලි කපා දින කිහිපයක්‌ මවු ශාකයේ තිබෙනට හැරීමෙන් කප්පාදු ශාක කොටස්‌හි වූ කෘමීහු නොකැපූ අතුරිකිලිවලට මාරුවන අතර මෙකී අතුරිකිලි මඳ පවනේ වියළා එහි වූ ලාකඩ සූරා රැස්‌කර ගැනීම සිදුකෙරේ. ලා කිරි හා අමුලාකඩ වශයෙන් හඳුන්වනු ලබන්නේ උක්‌ත බොර ලාකඩම වේ.

ලාක්‌ෂා ශූද්ධ කිරීම

බොර ලාක්‌ෂා අතින් ශුද්ධ කිරීම ලාකඩ පෙරීම නම් වේ. වනේ කොටා පොලා සකසන බොර ලාකඩ ඇල් දිය සහිත කොරහේ අතුල්ලා සේදීමෙන් පසු පවනේ වියළා ලාකඩ පෙරීම සඳහා යොර් ගැනේ. ඒ සඳහා ලාකඩ පෙන්දුව, පෙන්දු නූල්, ලාකඩ කූරු, ලාක්‌ෂා කඳ, යකඩ පතුර හෝ යතු තලය, පත් කොළය හා ගිනි කබල අත්‍යවශ්‍ය උපකරණ වේ. පෙරූ ලාකඩ කහට ඇදීම (සෝමරත්න සහ අබේවර්ධන, 1956(28) කළයුතුය. ලාක්‌ෂා රත්කොට ඇදීම කහට ඇදීමයි. කහට ඇදීම තුළින් ලාක්‌ෂාවල වූ කහට ස්‌වභාව යටපත්ව රන්වන් පැහැය මතුවෙයි. වර්තමානයේ ලාක්‌ෂා කෘමියා ලංකාවෙන් වඳ වී ගොස්‌ ය. ලාක්‌ෂා වැවීම හෝ බොර ලාකඩ නිෂ්පාදනයක්‌ අද්‍යතනයේ සිදු නොවේ. මෙකී ලාක්‌ෂා ශුද්ධ කිරීමේ සාම්ප්‍රදායික රටාව සමාජයෙන් වියෑකී ඇත. වර්තමානයේ ලාක්‌ෂා ආදේශකයක්‌ වශයෙන් ඉන්දියාවෙන් ආනයනය කොට යන්ත්‍රානුසාරයෙන් පවිත්‍ර වූ ලාක්‌ෂා හෙවත් ශැලැක්‌ භාවිතයට ගනී. අවල්, අරක්‌ක නාම වූ කලී ඊට පර්යාය පදයි. මෙසේ ආනයනිත ලාකඩ භාවිත කාර්යයන්ට සරිලන පරිදි විවිධ දව්‍ය මිශ්‍ර කිරීමෙන් නොයෙක්‌ ලාකඩ වර්ග සකසා ගනු ලැබේ.

කලිබිලිච්චි කිරීම හා ලාකඩ කෑලි නිර්මාණය

ගල්කෝප්පය, ගල්අත, තලන ලීය, රාත්තල් හතක්‌ පමණ වූ පිහිය, ලාකඩ කූරු, ලාක්‌ෂා කඳ, ගිනි කබල ආදී මෙවලම් භාවිතයෙන් සායම් වර්ග මිශ්‍රිතව තලා පදම් කරන ලද ලාකඩ කැබලි සැකසීම කලිබිලිච්චි කිරීම යි. අතීතයේදී අවශ්‍ය පමණට ලාකඩ මෘදු කරගැනීමට හා ඔප ගැන්වීමට පොතු ඉවත්කළ එඬරු ඇට සමඟ ලාකඩ තැලීම සිදුකළත් වර්තමානයේ ඒ සදහා රට දුම්මල මිශ්‍ර කෙරේ.

ලාක්‌ෂා ශිල්පීහු ලාක්‌ෂා සඳහා යොදාගත් සාම්ප්‍රදායික වර්ණ සාදිලිංගම්, ගල් හිරියල්, රන් හිරියල්, පූනිල් නම් පාෂාණ හා නිල් අවරිය, ගොකටු, අරලිය, ඔලිඳ වැනි ස්‌වභාවික ද්‍රව්‍ය තුළින් සකස්‌ කරගනිති. රතු, කහ සහ කළු වර්ණ පමණක්‌ ලාක්‌ෂා කර්මාන්තයේ මූලික වර්ණ ලෙස අතීතයේ භාවිත කළ නමුත් නිල්, කොළ, සුදු වැනි වර්ණ ද පසුකාලීනව භාවිතයට පැමිණ ඇත. වර්තමානයේ දම්, ඊයම්, තඹ, රන් වැනි වෙනත් වර්ණ යොදාගනු ලබන්නේ යන්ත්‍රානුසාරයෙන් නිපදවන ටයිටේනියම් හා බේයර් නම් ඩයි වර්ග උපයෝගී කරගැනීමෙනි.

ලාක්‌ෂා කැලිබිලිච්චි කිරීමේ ක්‍රම දෙකකි.

* ලාකඩ කූරු දෙකක්‌ ගෙන එහි කෙළවර ලාකඩ කැබැල්ලක්‌ රඳවා පොල් කටු අඟුරු ආධාරයෙන් රත් කරනු ලැබේ. පසුව එහි වර්ණ කුඩු තවරා ලාකඩ කූර ආධාරයෙන් ඉහළට අදිමින් ලාකඩ කැබැල්ලට වර්ණ මිශ්‍ර කළ යුතුය. සායම් මිශ්‍රිත ලාකඩ කැබැල්ල ලාක්‌ෂා කඳ මත තබා පිහියෙන් තැලීමෙන් වඩාත් හොදින් සායම් මිශ්‍රවීම සිදුවේ.

* වර්ණ ගැන්විය යුතු ලාකඩ කැබැල්ල වෘත්තාකාරව තුනීකර ඒ මත වර්ණ කුඩු තවරා රත් කළ යුතුය. තුනි කළ ලාකඩ කොටසක සායම් කුඩු මධ්‍යයේ තබා ලාකඩ කූරක්‌ ආධාරයෙන් ඉහළට අදිමින් තවදුරටත් සායම් කුඩු මිශ්‍රකළ යුතුය. සායම් කුඩු මිශ්‍ර වීම අනතුරුව එම ලාක්‌ෂා කොටස්‌ තැලීම කළ යුතුය.

ලාක්‌ෂා වර්ණ ගැන්වීමේදී පදම හා පිරිසිදු බවත් ඝන බව හා බර පිළිබඳවත් විමසිලිමත් වීමෙන් හේතුවෙන් අවශ්‍ය පැහැය හා ශක්‌තිය සුරැකෙන සේ ලාකඩ කැබලි නිර්මාණය කර ගත හැකිය.

වර්ණ ගන්වා තලනු ලැබූ ලාකඩ තුනීකර අඟල් එක හමාරක්‌ පමණ දිග පළල සිටින සේ කපා ගැනීමෙන් නියපොතු වැඩ සඳහාත් ඝනකම මඳක්‌ අඩු දිග කැබලි පට්‌ටල් වැඩ සඳහාත් භාවිත කරයි. 'ලාකඩ කෑලි' ලෙස ව්‍යවහාර වන්නේ මෙලෙස සැකසූ ලාකඩ සඳහාය.

ලාක්‌ෂා කර්මාන්තයේ කලාත්මක ලක්‌ෂණ

ලාක්‌ෂා ශිල්පයේ කලාත්මක හා නිර්මාණාත්මක අංශය වන්නේ නිමැවුම් භාණ්‌ඩ සඳහා ලාක්‌ෂා ආලේපනය සහ සැරසිලි මෝස්‌තර යෙදීමේ ශිල්ප ක්‍රමයයි. මුලික ක්‍රම දෙකක්‌ ඔස්‌සේ මෙකී පාරම්පරික ලාක්‌ෂා ශිල්පයේ කලාත්මක අංශය සකස්‌ වී පවතී.

1 නියපොතු වැඩ

2 පට්‌ටල් වැඩ වශයෙනි.

නියපොතු වැඩ හෙවත් මේවර වැඩ

පට්‌ටලයක්‌ භාවිත නොකොට මහපටැඟිල්ලේ නිය ආධාරයෙන් ලාක්‌ෂා නිර්මාණකරණයේ යෙදීම නියපොතු වැඩ නමි. අතින් ලාකඩ ගෑම හා ඔප දැමීම මේවර වැඩ නම්. නියපොතු වැඩ දුමින්දාගමනයේ අටළොස්‌ කුල ශිල්පීන් හා බැඳේ. ශ්‍රී මහ බෝධීන් වහන්සේට කොඩි මිටි, සේසත් මිටි ලාක්‌ෂා මේවර වැඩ තුළින් අලංකාර කිරීම හරහා තත් ක්‍රමය සමාජයේ ප්‍රචලිත වී ඇත. නියපොතු වැඩ සඳහා මාතලේ (පල්ලේ) හපුවිද ග්‍රාමය අතීතයේ සිටම ප්‍රසිද්ධියක්‌ උසුලන්නේ මෙහි වූ ලාක්‌ෂා ශිල්පීන් අනුරාධපුරයේ සිට පැමිණි බවට වන විශ්වාසය පෙරදැරිවයි.

මේවර වැඩ සදහා පළමුව භාණ්‌ඩයේ ලාක්‌ෂා ආලේප කළ යුතුය. වැලි කඩදාසි අල්ලා හෝ යතු ගා මෘදු පෘෂ්ඨයක්‌ බවට පත්කළ භාණ්‌ඩය හා වර්ණ ගැන්වූ ලාකඩ රත්කර භාණ්‌ඩයේ හොඳින් තවරා තල්කොළ ආධාරයෙන් මැදීම කරනු ලබන්නේ භාණ්‌ඩයට ලාක්‌ෂා මනාව කා වැද්දීමටත් ඔපවත් වීමත් අරභයාය. අවසානයේ රෙදි කැබැල්ලක්‌ රත්කර භාණ්‌ඩය පිරිමැදීමෙන් අපේක්‌ෂා කරන්නේ භාණ්‌ඩයේ දීප්තිමත් භාවයයි.

ක්‍රම කිහිපයක්‌ ඔස්‌සේ සාම්ප්‍රදායික ශිල්පීන් ලාක්‌ෂා ගැල්වීම සිදුකර ඇත.

1 කවලම් ගෑම

ද්වි වර්ණ හෝ වර්ණ සංකලනය කරමින් භාණ්‌ඩයක විවිධ පැති ආලේප කර මැදීම කවලම් ගෑම නම් විය.

2 වලිච්චි ගෑම

එක්‌ වර්ණයක්‌ භාවිතයෙන් භාණ්‌ඩයක්‌ ආලේප කර ඒ මත වෙනත් වර්ණයකින් තමනට අභිමත කොටස්‌ වර්ණ ගන්වා රත්කර මැදීම මෙහිදී සිදුවේ.

භාණ්‌ඩයක්‌ මෙලෙස සකසා ගැනීම මේවර කිරීම නම් වේ. කිසියම් භාණ්‌ඩයක ලාක්‌ෂා අතින් නොගා (මේවර නොයොදා) නිය වැඩ සිදු නොකිරීම සම්ප්‍රදායයි. මේවර වැඩ යනු නියපොතු වැඩ වල ආරම්භක කාර්යය ලෙස සැලකිය හැකිය. මෙලෙස සැකසූ භාණ්‌ඩයන්හි ලාක්‌ෂා කෙඳි මගින් සැරසිලි මෝස්‌තර යෙදීම නිය වැඩවල ප්‍රධානතම කාර්යයයි. නියපොත්තෙන් වැඩ දැමීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට ලාකඩ කෙදි සකසාගත යුතූය. ඒ සඳහා ශිල්පීන්ට සතතාභ්‍යාසය තිබිය යුතුය. මේවර කරන ලද භාණ්‌ඩ රත් කර ලාක්‌ෂා කෙඳි මහපටැඟිල්ලේ නියපොත්ත ආධාරයෙන් අලවන්නේ අභිමත මෝස්‌තර රටා නිරූපණය වන පරිදිය. අනතුරුව තල්කොළයක්‌ භාවිතයෙන් මදිනු ලැබීමෙන් මෝස්‌තරය ඔපවත් වේ.

සාම්ප්‍රදායික නියවැඩ මඟින් ඔපවත් වූ භාණ්‌ඩ අතීතයේ සිටම දෙස්‌ විදෙස්‌ පිළිගැනීමට ලක්‌විය. එම භාණ්‌ඩ අතර අව් අතු මිටි අංකුසය කොඩි මිටි තිරපොලු පොත්, කම්බ බස්‌තම් (අඩි තුනයි) මුර ආවුද මිටි වටාපත්, මිටි වියන්, මිටි හැරමිටි (අඩි හතරයි) හෙණ්‌ඩු මිටි ප්‍රධාන විය. නියවැඩ සහිත ලාක්‌ෂා නිෂ්පාදන හෙවත් නියපොතු වැඩ වලදී සාම්ප්‍රදායික දේශීය මෝස්‌තර රටාවන් වූ වැල් පොත "ආදාර කොණ්‌ඩු (සරල රේඛා), බින්දු සහ ගල් (දියමන්ති හැඩ ඇති කැබලි), කොළ වැල (එතෙන අතු හෝ වැල් මෝස්‌තරයක්‌), ලණු ගැට, පතුර (දික්‌ විසම පාද ත්‍රිකෝණ), බෝ කොළ" දැල, සුලි වැල වැනි යොදා ගැනේ.

පට්‌ටල වැඩ තුළින් නිපදවන භාණ්‌ඩ

භාණ්‌ඩ සඳහා ලාක්‌ෂා මෝස්‌තර යෙදීමේ ක්‍රමවේද අතර පට්‌ටලයෙන් වැඩ දැමීම අනෙක්‌ සම්ප්‍රදායයි. දුම්බර දිසාවේ හුරීකඩුවේ හා මාතර දිසාවේ අඟුල්මඬු ශිල්පීහු පැරණි පට්‌ටල් ක්‍රමයට ප්‍රසිද්ධ වූවෝ වෙත්. වක්‍රාකාර භාණ්‌ඩ නිර්මාණය පට්‌ටල් ක්‍රමවේදය මගින් සිදුවේ. පැරණි පට්‌ටල් ක්‍රමය ක්‍රියාත්මක වූයේ ශිල්පීන් දෙදෙනකුගේ ශ්‍රම පුරණයෙනි. ලණුව ඇද භාණ්‌ඩය කරකැවීම එක්‌ ශිල්පියෙකූ සිදුකරද්දී කටුව අල්ලා ලියවීම අනෙත් ශිල්පියාගේ රාජකාරියයි. තනි පාට හා ඉරි ගෑම පමණක්‌ පට්‌ටල මගින් සිදුවිය. වර්ණ දෙකක්‌ සංකලනය වන අවස්‌ථාවේදී එය කළු වැනි තද වර්ණ ඉරි ගෑම පට්‌ටල් සම්ප්‍රදාය විය. වැටකේ කොළයෙහි තැවරූ පොල්තෙල් යොදා භාණ්‌ඩය ඔප කිරීම පැරණි පට්‌ටල් ක්‍රමවේදයයි.

ලංකාවේ භාවිත වූ පැරණි පට්‌ටලයට වඩා වර්තමානයේ හපුවිද ප්‍රදේශයේ භාවිත වන ඉන්දීය පට්‌ටලය පැරණි පට්‌ටල් ක්‍රමයට වඩා භාණ්‌ඩ ලියවීම හා ලාකඩ ආලේප කිරීම යන කාර්යයද්වයම සිදු කළ හැකිය.

* පටි ගෑම

* කැටයම් ගෑම

* ලාක්‌ෂා ගිල්ලවීම

* බතික්‌ හා ෂේඩින් ක්‍රමය

* බින්දු සිටිනසේ ගෑම

නූතන පට්‌ටල් වැඩ ප්‍රධාන මෝස්‌තර ක්‍රමවේද වශයෙන් හඳුනාගත හැකිය. කැටයම් කැපීම පිණිස කැටයම් ගෑම සිදුකළ යුතූය. කිසියම් භාණ්‌ඩයක එක්‌ එක්‌ වර්ණයෙන් යුත් ලාකඩ තට්‌ටු එකපිට එක තවරා පිති කෑලි මඟින් මට්‌ටම් කොට අවසානයේ පොල්තෙල් තවරන ලද වැටකේ කොළයෙන් හා රෙදි කැබැල්ලකින් ඔප දමා කැටයම් කැපීම සදහා ගත යුතුය.

ලාක්‌ෂා තට්‌ටු ආලේපනයේ ප්‍රමාණය අනුව වර්ණ සංයෝජනයෙන් කැටයම් කැපීම සිදුකළ හැක. ලියවැල්, මල්වැල්, හංස පූට්‌ටු, ගජසිංහ රූප වැනි මෝස්‌තර සාම්ප්‍රදායික භාණ්‌ඩ සඳහා යොදනු ලබන කැටයම් වේ. ශිල්පියාගේ දක්‌ෂතා මත කැටයම්වල ගුණාත්මක හා කලාත්මක භාවය රැඳී පවතී.

කැටයම් ගිල්ලවීම අනෙක්‌ ක්‍රමයයි. ලියවන ලද භාණ්‌ඩය වැලිකඩදාසි අල්ලා සකස්‌කර ගැනීමෙන් අනතුරුව ඝන ලාක්‌ෂා තට්‌ටුවක්‌ ආලේප කර පිති කෑල්ලකින් මට්‌ටම් කොට ඒ මත කැටයම් කටුව හෝ උල් කටුව භාවිතයෙන් අභිමත මෝස්‌තර කැපිය යුතුය. මෝස්‌තර මත ලාකඩ තවරා මට්‌ටම් කිරීමෙන් කපන ලද කැටයම් තුළට ලාකඩ කා වැදෙයි. රෙදිකඩක බහාලු බොරගල් කුඩු වැසීගිය මෝස්‌තරයේ ඇතිල්ලීමෙන් ලාකඩ කා වැදුණු මෝස්‌තරය මතු කරගනී. එවිට බොරගල් කුඩු ඉවත්කර පොල්තෙල් ස්‌වල්පයක්‌ තැවරූ රෙදි කැබැල්ලකින් ඔප දැමීම සිදුකරයි. මේ ක්‍රමවේදය ඔස්‌සේ එකම භාණ්‌ඩයේ කොටස්‌වල නා නා වර්ණවත් ලාක්‌ෂා ගිල්ලවා මෝස්‌තර නිර්මාණය කළ හැකිය.

පට්‌ටල් වැඩ වලදී භාවිත මෝස්‌තර යෙදීමේ ක්‍රම අතර බතික්‌ හා ෂේඩින් ක්‍රමයට විශේෂ තැනක්‌ හිමි වේ. මට්‌ටම් කිරීමක්‌ හෝ ඔප දැමීමක්‌ නොකරන බතික්‌ ක්‍රමයේ දී භාණ්‌ඩයක ඝනකම ක්‍රමයෙන් අඩුවන සේ ලාක්‌ෂා තට්‌ටු තුනක්‌ තවරනු ලැබේ. අවසානයේ පිති කෑල්ල හෝ වැටකේ කොළ ආධාරයෙන් මට්‌ටම්කර රෙදි කැබැල්ලක පොල් තෙල් යොදා ඔප දමනු ලබයි. ෂේඩින් ක්‍රමයේදී පළමු තට්‌ටුව ගා මදින නමුත් දෙවනි තට්‌ටුව බුරුල් ලාකඩ කැට සිටින්නට තැවරීම සම්ප්‍රදායයි. කැට හිටින්නට ගෑමේදී මැද මට්‌ටම් කිරීමක්‌ නොකෙරේ.

බින්දු සිටින සේ ගෑම පට්‌ටල් ක්‍රමයේදී භාවිත මෝස්‌තර යෙදීමේ තවත් ක්‍රමයක්‌ ලෙස හඳුනාගත හැකිය. ලාක්‌ෂා කම් සඳහා සැකසූ භාණ්‌ඩය පට්‌ලයට සවිකර සාමාන්‍ය ලාකඩ තට්‌ටුවක්‌ තවරා මට්‌ටම් කිරීමෙන් පසු බුරුල් ද්විවර්ණ ලාකඩ කැබලි පළමු ලාක්‌ෂා තට්‌ටුව මතින් අත බුරුලෙන් ඇල්ලීමෙන් ලාකඩ බින්දු නිර්මාණය සිදුවේ. තෙත රෙදිකඩක බහාලු බොර ගල්කුඩු මගින් භාණ්‌ඩය මදින විටදි ත්‍රි වර්ණ බින්දු මතුවේ. එහිදී පොල් තෙල් තැවරූ රෙදි කැබැල්ලක්‌ මගින් භාණ්‌ඩය ඔප දමා ගැනීම සම්ප්‍රදායයි.

පාරම්පරික භාණ්‌ඩ, නවීන භාණ්‌ඩ හා උපයෝගිතා භාණ්‌ඩ වශයෙන් පට්‌ටල් ක්‍රමයේදී භාණ්‌ඩ වර්ග තූනක්‌ තනනු ලැබේ. පට්‌ටල් වැඩවලදී පාරම්පරික භාණ්‌ඩ සඳහා සංස්‌කෘතිමය වටිනාකමක්‌ හිමිවේ.පට්‌ටල් වැඩවලින් නිපදවන පාරම්පරික භාණ්‌ඩ රැසකි. අළු බඳුන් ආභරණ හෙප්පු (මංජුසා) ඉලත්තට්‌ටු කනප්පු පෝච්චි බීරළු මල් පෝච්චි සෙරක්‌කාල හලං හෙප්පු ඒ අතර වේ.

පට්‌ටල් වැඩ හා නියපොතු වැඩ මිශ්‍ර ශිල්පය

යන්ත්‍රානුසාරයෙන් කෙරෙන පට්‌ටල් වැඩ හා ශිල්පීය නිපුණතාවයෙන්ම සිදුකරන නියපොතුවැඩ මිශ්‍රව කිරීමෙන් තත්ත්වයෙන් උසස්‌ ලාක්‌ෂා භාණ්‌ඩ අඩු කාලයකින් නිපදවිය හැකිය. වර්තමානයේ ලාක්‌ෂා භාණ්‌ඩ නිෂ්පාදනයේ ප්‍රවණතාව මෙයයි. පට්‌ටල් වැඩ සඳහා බහුලව භාවිත වන්නේ බුරුල් ලාකඩ වුවත් නියපොතු වැඩ සඳහා හැමවිටම තද ලාකඩ භාවිත කළ යුතූය. නියපොතු වැඩ සඳහා බුරුල් ලාකඩ භාවිතය අයෝග්‍ය හෙයින් පට්‌ටල් වැඩ හා නියපොතු වැඩ මිශ්‍ර කර්මාන්තයේදී පට්‌ටල් වැඩ කොටස සඳහා ද තද ලාකඩ පමණක්‌ භාවිත කිරීමට සිදුවේ. උඩැක්‌කි, පෙට්‌ටගම්, බුලත් තට්‌ටු, සෙරක්‌කාල, සෝපා, හොරණෑ ආදී භාණ්‌ඩ මෙකී මිශ්‍ර කර්මාන්ත තුළින් මනාව නිපදවිය හැක. 


7 comments:

  1. Thank you for the useful information sir

    ReplyDelete
  2. good information thank you for your effort to teach us thank you

    ReplyDelete
  3. ඉතාම වැදගත් කරුණු රාශියක් ලාක්ෂා කර්මාන්තය ගැන දැන ගත හැකිවිය. ස්තුතියි මහත්මයාණෙනි

    ReplyDelete
  4. ප්‍රයෝජනවත් ලිපියක් සර්

    ReplyDelete
  5. සම්පුර්ණ විස්තරයක්. බොහොම ස්තුතියි සර්.

    ReplyDelete